Jump to content

දූර්දර්ශන්

විකිපීඩියා වෙතින්
දූර්දර්ශන්
වර්ගයගුවනින් විසුරුවාහරින සහ මාර්ගගත රුපවාහිනී සහ ගුවන්විදුලි ජාලය
රටඉන්දියාව
අාවර්ණයරට පුරා
ආදර්ෂ පාඨයसत्‍यम शिवम सुंदरम
මූලස්ථානනවදිල්ලි, ඉන්දියාව
හිමිකරුප්‍රසාර් භාරතී
දියත් කල දිනය
1959 සැප්තැම්බර් 15
පැරණි නාමයන්
සමස්ථ ඉන්දීය ගුවන්විදුලිය
රූප අාකෘතිය
480i (16:9 SDTV)
720p (HDTV)
නිල වෙබ් අඩවිය
ddindia.gov.in

දූර්දර්ශන් (Doordarshan; බොහෝවිට DD ලෙසද කෙටිකර හඳුන්වන) යනු ඉන්දීය ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ ප්‍රසාර් භාරතී ආයතන ජාලය යටතේ පවතින පොදු මහජන රූපවාහිනී ගුවන්විදුලි විකාශන සේවයකි. එය විකාශනාගාර සහ මැදිරි පහසුකම් අතින් ඉන්දියාවේ විශාලතම මාධ්‍ය ජාල වලින් එකකි. මෑතකදී එය සංඛ්‍යාංක භූමි විකාශනාගාර (digital terrestrial transmitters) භාවිතයද ඇරඹීය. රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාල විකාශන, ජංගම දුරකථන විකාශන ඇතුළු සේවා රැසක් දූර්දර්ශන් ජාලය විසින් මෙහෙයවයි. ඉන්දියාවේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වලට මෙන්ම විදේශයන්ටද වැඩසටහන් විකාශය කිරීමේ හැකියාව දූර්දර්ශන් සතුය.

"දූර්දර්ශන්" යන වදන වර්තමානය වනවිට සමස්ථ දූර්දර්ශන් මාධ්‍ය ජාලය හැඳින්වීමට භාවිතා කරයි. මෙම මාධ්‍ය ජාලය පුළුල් වීමත් සමග 1959දී ඇරඹි දූර්දර්ශන් නාලිකාවේ නාමය පසුකාලීනව ඩීඩී නැෂනල් ලෙස වෙනස්කරන ලදී.

ආරම්භය

[සංස්කරණය]
"දූර්දර්ශන් භවන්" හෙවත් නවදිල්ලි නුවර කොපර්නිකස් මාග් හි පිහිටි දූර්දර්ශන් මූලස්ථානය.

දූර්දර්ශන් නාලිකාව 1959 සැප්තැම්බර් 15 වෙනිදා නවදිල්ලි නගරයේදී පර්යේෂණ විකාශයක් ලෙස ආරම්භ විය. ඒ වන විට කුඩා ට්‍රාන්ස්මීටරයක් සහ තාවකාලික මැදිරියක් එය සතු විය. නමුත් සමස්ථ ඉන්දීය ගුවන්විදුලියේම කොටසක් ලෙස දෛනික ක්‍රමවත් විකාශයක් ආරම්භ වූයේ 1965 වසරේදීය. මිනිත්තු පහක කුඩා ප්‍රවෘත්ති ප්‍රකාශයක් විකාශය කිරීමද ඒ වසරේදීම ආරම්භ විය. ප්‍රතිමා පූරි ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වූවාය. සල්මා සුල්තාන් 1967 දී දූර්දර්ශන් වෙත එක්වූ අතර පසුව ප්‍රවෘත්ති ඉදිරිපත්කරන්නෙක් බවට පත්විය. දූර්දර්ශන් රූපවාහිනී නාලිකාව 1972 වසරේදී මුම්බායි සහ අම්රිත්සාර් නගර වලටද විකාශන කටයුතු පුළුල් කරන ලදී. 1975 වසර වනවිටත් රූපවාහිනී පහසුකම් ව්‍යාප්තව පැවතුනේ ඉන්දියානු නගර 7කට පමණක් වූ අතර, ඉන්දියාවේ එවකට පැවති එකම රූපවාහිනී නාලිකාව වූයේ දූර්දර්ශන්ය. 1976 අප්‍රේල් 1 වෙනිදා දූර්දර්ශන් රූපවාහිනී නාලිකාව සමස්ථ ඉන්දීය ගුවන්විදුලියෙන් වෙන් කරන ලද අතර එම ආයතන ද්විත්වය වෙන වෙනම අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනෙකු යටතට පවරන ලදී. 1982 වසරේදී දූර්දර්ශන් නාලිකාව ඉන්දියාවේ ජාතික රූපවාහිනී සහ ගුවන්විදුලි සේවය බවට පත්විය. දූර්දර්ශන් නාලිකාවේ විකාශය වූ පළමු වැඩසටහන ක්‍රිෂි දර්ශන් වේ. එය 1967 ජනවාරි 26 වෙනිදා විකාශය කිරීම ආරම්භ වූ අතර, ඉන්දියාවේ වැඩිම කාලයක් පුරාවට විකාශය වන වැඩසටහන් වලින් එකකි.

ජාතික මට්ටමේ විකාශය

[සංස්කරණය]

දූර්දර්ශන් නාලිකාව විසින් ජාතික මට්ටමේ විකාශයන් ආරම්භ කරනු ලැබූයේ 1982 වසරේදීය. එම වසරේදීම ඉන්දියාවට වර්ණ රූපවාහිනී විකාශය හඳුන්වාදෙමින් 1982 අගෝස්තු 15 වෙනිදා ඉන්දීය නිදහස් දින උළෙලේදී එවකට ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි විසින් සිදුකරනු ලැබූ කතාව සජීවීව විකාශය කෙරිණි. ඉන්පසු දිල්ලියේ දී පැවැත්වුණු 1982 ආසියානු ක්‍රීඩා උළෙලද වර්ණ රූපවාහිනී තාක්ෂණයෙන් විකාශය කෙරිණි. වර්තමානය වනවිට ඉන්දීය ජනගහනයෙන් 90% ට වැඩි පිරිසකට දූර්දර්ශන් (ඩීඩී නැෂනල්) නැරඹීමේ පහසුකම් ඇත. ඒ සඳහා රට පුරා ප්‍රාදේශීය මට්ටමින් ට්‍රාන්ස්මීටර 1400ක් පමණ පිහිටුවා තිබේ. වැඩසටහන් නිෂ්පාදනය සඳහා මැදිරි 46ක් දූර්දර්ශන් සතුය.

නාලිකා

[සංස්කරණය]

දූර්දර්ශන් ජාලය විසින් රූපවාහිනී නාලිකා 21ක් මෙහෙයවයි.

ජාත්‍යන්තර විකාශය

[සංස්කරණය]

ඩීඩී ඉන්ඩියා නාලිකාව චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ ලොව පුරා විකාශය කෙරේ. එය රටවල් 146කදී නැරඹිය හැක. නමුත් එම රටවලදී එය නැරඹීම සඳහා දැනගත යුතු විකාශන තොරතුරු සොයාගැනීම අසීරු වී ඇත. එක්සත් රාජධානියේදී යූරෝබර්ඩ් චන්ද්‍රිකාව හරහා ස්කයි සේවයේ නාලිකා අංක 833 ඔස්සේ රායත් ටීවී නමින් ඩීඩී ඉන්ඩියා නැරඹිය හැක. කෙසේවෙතත් ස්කයි ඩිජිටල් සේවය ඔස්සේ විකාශය සහ ඇමරිකාවේ DirectV සේවය ඔස්සේ විකාශය පිලිවෙලින් 2008 ජූනි සහ ජූලි මාස වලදී අත්හිටුවන ලදී.

දූර්දර්ශන් යළි එළිදැක්වීම

[සංස්කරණය]

2014 නොවැම්බර් 17 දින නව තේමාවකින් දූර්දර්ශන් නාලිකාව වයලි එළිදැක්විණි. එය රෝස සහ දම් පැහැයන් ඇති තනවා වර්ණ තේමාවකි. නාලිකාවේ ආදර්ශ පාඨය "දේශ් කා අප්නා චැනල්" (ජාතියේ නාලිකාව) ලෙස වෙනස්කෙරිණි.

ක්‍රීඩා විකාශය

[සංස්කරණය]

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල හා සමාප්ති උළෙල ඉන්දියාව තුල සජීවීව විකාශය කරනු ලැබුයේ දූර්දර්ශන්හි ජාතික නාලිකාව වන ඩීඩී නැෂනල් මගිනි.

විවේචන

[සංස්කරණය]

දූර්දර්ශන් අධ්‍යක්ෂ මණ්ඩලයට නිලධාරීන් පත්කිරීම සිදුකරනු ලබන්නේ ඉන්දීය රජය විසිනි. එමෙන්ම ජාතික උත්සව අවස්ථා විකාශය කිරීමේ නිල අයිතිය කිසදු තරගයකින් තොරව නිතැතින්ම එයට හිමිවේ. එමගින් විශාල ආදායමක් දූර්දර්ශන් විසින් උපයයි. මෙවැනි කරුණු නිසා දූර්දර්ශන් විවේචනයට ලක්ව තිබේ.

1991 වසරේ සිට ඉන්දියාව තුල පෞද්ගලික නාලිකා ඇරඹීමට රජයේ අවසරය ලැබීම නිසා දූර්දර්ශන් ප්‍රේක්ෂක පිරිස අඩුවී තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=දූර්දර්ශන්&oldid=633002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි